රැල්ල | The Wave

 "බුද්ධි ශෝධනය තුලින් සුළුතරයක් විසින් බහුතරය පාලනය කිරීම."

බුද්ධි ශෝධනය (Brain Wash) යන සංකල්පය විවිධ අවස්ථාවල දී පුද්ගල කණ්ඩායම් මෙහෙයවීම සඳහා යොදාගනු ලැබේ.අද ඔබ වෙත ඉදිරිපත් කිරීමට යන පොතද ඒහා බැදුනු පර්යේශණාත්මක ක්‍රියාකාරකමක ප්‍රතිථලයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලබන එකකි.ඒ තුල යම් සිතුවිල්ලක් පුද්ගල මනසට ඇතුලත් කළ පසු එය සාර්ථකව දළුලා වැඩෙන්නට සැලැස්වීම තුල විවිධ ක්‍රියාකාරකම් පුද්ගලයන් ලවා කරවා ගැනීමට හැකි බව මනාවට ඔප්පුකර තිබේ.එහි පරිවර්ථක සටහන පහත පරිදි වේ.


"The Wave නමින් Morton Rhue විසින් ලියන ලද මුල් නවකතාව කැලිෆෝනියාවේ උසස් පෙළ ඉතිහාස පන්තියේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගන්නා ලද්දකි.එහි 1969 Palo Atlo පාසලේ ඉතිහාසය ගුරුවරයාවූ Ron Jones උසස් පෙළ සිසුන්ට දෙවන ලෝක සංග්‍රාමය පිළිබඳ ඉගැන්වීමේදී ශිෂ්‍යයෙකු විසින් ප්‍රශනයක් අසන ලදී. ජර්මනිය තුළ යුදෙව්වන් ඇතුලු විශාල පිරිසක් වධබන්ධනය සහ ඝාතන වලට ලක්වෙද්දී ඊට ජර්මන් ජාතිකයන් විරුද්ධ නොවූයේ කුමක් නිසාද යන්නයි.මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට එය ක්‍රියාවෙන් අවබෝධ කරදීමට ගුරුවරයා සැලැස්මක් සකස්කොට ක්‍රියාත්මක කළේය. එය ඉතා සාර්ථක වුවද ගුරුවරයාට ඉතා අසීරුවෙන් අවසානයේ එම ක්‍රියාවලිය නවතා දමන්නට සිදුවන තරම් දුරදිග ගියේය.පසුව ඔහු පැවසූ පරිදි එය ඉතා භයංකර අද්දැකීමක් විය"

පරිවර්ථනය
උමංගා වේබර්




මෙහෙදී ඉතා සාමාන්‍ය පරිදි එදිනෙදා අද්‍යන කටයුතු සිදුකරනු ලබන පාසලක් පවතී.ඒතුල පැවති ඉතිහාස පාඩමක් අතරතුර ජර්මනිය හා බැදුනු වාර්ථාමය චිත්‍රපටයක් ගුරුවරයා විසින් පෙන්වනු ලැබේ. එහි නාසි ජර්මනියේ නායකයා වූ ඇඩොෆ් හිට්ලර් ඇතුලු සහචරයින් යුදෙව්වන්ට සිදුකළ විවිධ අපරාධ ඉදිරිපත් කළේය. එම චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව එමී නම් සිසුවෙකු ගුරුවරයාට ඉදිරිපත් කළ පැනයක් නිසා ගුරුවරයා විසින් මෙම පර්යේශනය තම පංතිකාමරය තුල සිදුකිරීමට පෙළඹුණි.

මෙහිදී පෙනීයන්නේ යම් සුළුතර පිරිසක් විසින් ඉතා සියුම් මානසික බලපෑමක් තුලින් විශාල පිරිසක් මෙහෙය වීමයි.එය අද සමාජයේද විවිධ අවස්ථාවලදී අපට දැකගැනීමට හැකියාව ඇත.නමුත් ජර්මන් වැසියන් ක්‍රියාකල අන්දමින්ම කෙතරම් කෙනෙහෙලිකම් සිදුවුවද සුළුතර බලයට එරෙහිව නැගීසිටීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ. එසේ ඉදිරිපත් වන පුද්ගලයින්ට එරෙහිව සමස්ථ පිරිස එරෙහි වන අන්දමට සුළුතර පිරිස විසින් කටයුතු සංවිධානය කරනු ලැබේ.එය මෙම පොතේ අවසාන බාගයේ ඉතා හොදින් දක්වා ඇත.

මෙම පොතට පාදක වී ඇති පරීක්ෂණය තුල සාමූහිකත්වය ගොඩනැගීම සහ සෑම දෙනාටම සැමතැනක් ලබාදීම වැඩසටහනේ අරමුණයි.ඒතුල ඔවුන් එයට 'රැල්ල (The Wave)' යන නම තබන ලදී. තවද මෙම රැල්ලට තේමාපාඨ තුනක් පැවතියේය.ඒ තේමාපාඨ මත පදනම් වී රැල්ල වෙත පිරිස එකතුකර ගන්නා ලදී.

*ශික්ෂණය තුළින් ශක්තිය
*සාමූහිකත්වය තුළින් ශක්තිය
*ක්‍රියාකාරීත්වය තුළින් ශක්තිය

එසේ ඔවුන් එක්‍-රැස් වන සෑම අවස්ථාවකදීම මෙම පාඨ හඬනගා සජ්ඣයනා කිරීම සිදුකරන ලදී.ඒ ඔස්සේ රැල්ලේ සාමාජිකයන්ට ගුරුතුමා විසින් විවිධ පාඩම් කියාදුනි. එසේ කෙමෙන් කෙමෙන් බුද්ධි ශෝධනයකට ලක් කළ පසු පාසල තුල රැල්ල සංවිධානය වෙනස්ම පෙරළියක් ඇතිකරනා ලදී. පොතේ අවසාන භාගය තුළ පාඩම් කිහිපයක්ම අප ජීවිතවලට එක් කරගැනීමට ඇත.

>> මෙහිදී එක් අවස්ථාවකදී රැල්ල පිළිබඳව ජ්‍යෙෂ්ඨ සිසුවෙකු විසින් කණිෂ්ඨ සිසුන් පිරිසක් දැනුවත් කරනු ලබන අවස්ථාවක් ඇත.එහිදී ඔහු විසින් ප්‍රකාශකර සිටින්නේ රැල්ලේ සාමාජිකයෙකු නොවන්නේනම් සමස්ථ පාසල තුළ කොන් වීමට සිදු වන බවයි.නමුත් කණිෂ්ඨ සිසුවා විසින් එයට ලබාදෙන උත්තරය ඉතා ආකර්ෂණීය එකකි.'මට කොහොමත් එකයි.මම ඒකට බැඳුණත් නැතත් ඔවුන් තවමත් මගේ යහළුවන්'.ඒ තුල ගැබ්ව පවතින්නේ පුද්ගල නිදහසේ ඇති වටිනාකමයි.සෑම පුද්ගලයෙකුටම තමාට ස්වාධීනව තීරණ ගැනීමේ අයිතියක් පැවතිය යුතුය. යම් සංවිධානයක් හො පුද්ගල කණ්ඩායමකගේ මතය එම ස්වාධීන තීරණගැනීම පරයා නොයායුතුය.එසේ සිදුවුවහොත් සිදුවන්නේ තමාද සමූහයේ පොදු පාලනයට නතුවීමයි.ඒතුල පුද්ගල නිදහස නැතිවී මානව රොබෝවරයෙකු වීමට සිදුවනු ඇත.

>> තවත් එක් අවස්ථාවකදී රැල්ලේ සාමාජිකත්වය අත්හල ලොරී පුවත්පත් කාර්යාලයේ සැගව සිටීමට සිදුවී තිබුනේ ඒ අවස්ථාවේ රැල්ලේ දැවැන්ත රැස්වීමක් පිටත පැවත්වන නිසාය.ඒ තුල පෙනීයන්නේ රැල්ලේ රැස්වීමට සහභාගී නොවී සිටීම සමස්ථ පිරිසේ දෝෂදර්ශනයට භාජනය වීමට කාරනයක් බවයි.එනම් එසේ රැල්ලේ රැස්වීම් වලට සහ ක්‍රියාකාරකම් වලට සහභාගී නොවීමට හේතු මොනවාද යන්න, රැල්ලේ සාමාජිකයන් විසින් ඇය වෙත පෙරලා ප්‍රශ්න කරන නිසාය.එය මගහැරීම සඳහා ඇයට සැගව සිටීමට සිදු වේ.මේ තුලද පෙනී යන්නේ ද පුද්ගල නිදහස ස්වයං තීරණ ගැනීමේ අයිතිය මෙවැනි වැඩපිළිවලවල් තුල ඇහිරෙන අයුරුය.

>> තවත් එක් අවස්ථාවක රැල්ලේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් පාපන්දු තරඟයක් පවත්වනු ලැබේ.එහිදී රැල්ලේ සාමාජිකයන් නොවන අය සඳහා එය නැරඹීමට තහංචි පමුණුවන තත්ත්වයක් දක්වා රැල්ලේ සාමාජිකයන් කටයුතු කරනු ලබනවා.තවද රැල්ලේ සාමාජිකයන් නොවන අය තමන් ලඟ වාඩිකරගැනීම පවා රැල්ලේ සාමාජිකයන් ප්‍රතික්ශේප කරනු ලබනවා. මේ තුල අපට පෙනීයන්නේ ඉතා කුඩා මානසික උත්තේජනයක් ලබාදුන් පසු මානව රොබෝවයන් මෙන් රැල්ලේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු කරන අන්දමයි. නමුත් රැල්ලේ සාමාජිකයන් සහ එසේ නොවන යන සියල්ලම ඊට සති කීපයකට පෙර ඉතා හොඳ මිතුරන් වීමය.ඒ තුල පෙනීයන තවත් දෙයක් නම් බුද්ධි ශෝධනයක් තුල ඉතා සියුම් ලෙස මානව සබඳතාවලට බලපෑම් කලහැකි බවයි.

>> ගතහැකි තවත් අවස්ථාවක නම් රැල්ලේ  සාමාජිකයන් නොවන රැල්ලට විරුද්දව කටයුතු කරන අයවලුන්ට විරුද්දව විවිධ (අ)මානුශික ක්‍රියාමාර්ග රැල්ලේ සාමාජිකයන් විසින් ගනු ලැබීමයි.ඒතුල රැල්ලට එරෙහිව අදහස් ඉදිරිපත් කරන සිසුන් මර්ධනය කිරීමට රැල්ලේ සාමාජිකයන් නිරායාසයෙන් විවිධ වූ ක්‍රියාමාර්ග ගැනීම දක්වා මෙම රැල්ල වැඩසටහන වර්ධනය වෙනවා.එහිදී සුළුතරයකගේ මතය බහුතරය විසින් රැකගැනීමට ඕනෑම ක්‍රියාවක් කරනා වටපිටාවක් දක්වා වර්ධනයවනු ලැබේ.එය ඉතා අශිෂ්ඨ දෙයකි.ඒතුල ද පුද්ගල නිදහාස ඇහිරෙන අන්දම ඉතා හොදින් කතුවරයා පෙන්වා දී ඇත. මෙහිදී මෙවැනි අවස්ථා රාශියක් මෙම පොත තුල උදාහරණ වශයෙන් දැක්විය හැකි වුවත් ලිපිය දීර්ඝ වන නිසා එසේ ඉදිරිපත් නොකරමි.

අවසාන වශයෙන් බුද්ධි ශෝධනයේ අහිතකර බලපෑම මෙම පොත තුළ ඉතා අපූර්වට දක්වා ඇති බව පැහැදිලිය.ලොව ජීවත් වන සෑම සත්වයෙකුහටම  ස්වාධීන තීරණ ගැනීමේ අවස්ථාවක් තිබිය යුතුය.ඒ තුල ගොඩනැගෙන ලෝකය ඉතා ආකර්ශණීය වනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි.තවද විවිධ පුද්ගල කණ්ඩායම් වල මතය තම ස්වාධීන මතය අභිබවා යාමට ඉඩ නොදියයුතුය.එසේ අභිබවා යාමට ඉඩ දුන්නහොත් සිදුවන්නේ එම මතයන් තුලින් තමාව, තමාට නොදැනීම පාලනයට නතුවීමයි. ඒතුල පුද්ගල පෞර්ශය මෙන්ම නවෝත්පාදන චින්තනයද ඇහිරී යනු ඇත.එනිසාවෙන් ලෝකය තුල තවත් අඳුරු පැල්ලම් ඇතිවනු නොවනුමානය.එම නිසා එසේ නොවී ඉතා සුන්දර ලෝකයක් නිර්මාණය කරගැනීමෙහිලා සැමගේ සිත් යොමුවේවායි ප්‍රාර්ථනා කරමි ! 


Author by Hasitha_Chathuranga

YouTube Video Link - https://youtu.be/ICng-KRxXJ8 

විදර්ශන ප්‍රකාශනයක්
සිංහල පරිවර්ථනයේ අයිතිය - උමංගා වේබර්
ISBN 978 955 1559 36 6

Tags:

Share:

0 Comments

ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න